මාතර නගරයට ප්‍රවිශ්ඨ සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ. එනම් ක්‍රි.ව. 515 තරම් ඈතට දිවයන ඵෙතිහාසික පුරාවෘත්තයක් නිහක්‍ෂව කියාපාන ජනාකීර්ණ නගර මධ්‍යයේ උප ශාන්ත පරිසරයක් පසුබිම් කරගෙන පිහිටි මාතර ඵෙතිහාසික බෝධි රාජයායි.

කොළඹ සිට කතරගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ උයන්වත්ත ක්‍රීඩාංගනයට මුහුණලා පිහිටා ඇති මේ පරම පූජනීය මාතර ඵෙතිහාසික බෝධි රාජයා ක්‍රි.ව. 515 දී මෙරට රාජ්‍යත්වයට පත්වී සිටි මහා කිවිවරයෙකු ලෙස සැළකෙන කුමාරදාස නිරිඳූ කල දක්වා දිවෙන ඵෙතිහාසික පසුබිමක් ඇති ස්ථානයක් බව පෞරාණික ලේඛන හා ජනප්‍රවාද අනුව සනාථ වේ. මෙම බෝධිරාජයා රෝපණය කිරිමේ අවස්ථාවට කුමාරදාස රජුගේ ආරාධනයෙන් රාජ්‍ය අමුත්තකු ලෙස • ලංකාවට පැමිණි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී ජීවිතක්ෂයට පත් වු කාලිදාස මහා කිවිදාණන්ගේ චිතකයට පැණ දිචි නසාගත් බිසෝවරුන් පස් දෙනාත් සමඟ රජුද උපදෙස් දුන් පçවරුද යන සත් දෙනාද පැන දිවි තොර කරගත් බව සඳහන් වේ. මේ ශෝකාන්තය සිහිපත් වන්නට මාතර නගරය තුළ බෝධි 7 ක් රෝපණය කළ අතර එදා පටන් මේ ස්ථානය ’හත් බෝධි වත්ත’ නමින් හඳූන්වන ලදී. මාතර ඵෙතිහාසික බෝධි රාජයා එම බෝධීන් වහන්සේලා අතරින් එකක් ලෙස විශ්වාස කෙරේ. මෙම මාතර ඵෙතිහාසික බෝධීන් වහන්සේ අනුරාධපුරය විජය • ජය • මහා බෝධි රාජයාණන් වහන්සේගේ ගෝත්‍රයට අයත් වන බව උද්භිද විද්‍යාඥයින් විසින් කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත.
එවකට මෙරට පාලනය කරන ලද ඉංග්‍රිසි පාලකයින් මේ ඵෙතිහාසික පූජා භූමියට විවිධ තර්ජන එල්ල කරන ලද අතර මාතර නගරසභා භූමිය පුළුල් කරන අටියෙන් හා බෞද්ධයින්ට පාඩමක් ඉගැන්වීමේ අදහසින් ඔවුන් විසින් මෙම බෝධීන් වහන්සේ කපා ඉවත් කිරිමට දින පවා නියම කර ගන්නා ලදී. එහෙත් එවකට මාතර නගරයේ සිටි බෞද්ධ ව්‍යාපාරිකයින් රාජ්‍ය නිළධාරීන් හා මාතර නගර සභාවේ නිළධාරීන්ද සෙසු බෞද්ධ ජනයාද එක්ව විවිධ තර්ජන ගර්ජන මැද්දේ ඉතා අපහසුවෙන් එය ආරක්ෂා කරගෙන තිබේ. ඔවුන්ගේ මුලිකත්වයෙන් බෝධීන් වහන්සේ අබියස බුද්ධ ප්‍රතිමාවක් වඩා හිඳූවා වන්දනාමාන කිරිමට කටයුතු සැලැස්වු අතර මෙහි පූජනීයත්වය ඔප් නැංවීමට කුඩා බුදු මැදුරක්ද කුඩා චෛත්‍යක්ද දේවාල දෙකක්ද ඉදි කරන ලදි. මුලින් ඉදිකළ මෙම කුඩා චෛත්‍ය විහාර මන්දිරය පිටුපස දැනුදු දක්නට ලැබේ.
මාතර බෝධි ආරක්ෂක සභාවේ සාමාජිකයින් අතුරින් පරළෝ සැපත් බී. ආරියරත්න මහතාත් බී. ඒ. සයිමන් අප්පුහාමි මහතාත්, කේ. පී. කරනේලිස් මහතාත් මේ සඳහා පෙරමුණ ගත් පිරිස අතර වේ. 1961 වර්ෂයේදී කේ. ටී. සෝමපාල, සී. ඒ. ධර්මසේන සහ ආර්. පෑලිස් යන මහත්වරු ස්වකීය ධන පරිත්‍යාගයෙන් චෛත්‍යයක් ගොඩ නැගීම ආරම්භ කරන ලදී. මෙසේ ක්‍රමයෙන් දියුණු වෙමින් පැවැති මාතර බෝධි රාජයාගේ ඉදිරි පැවැත්ම හා ආරක්ෂාව සඳහා 1962 ඔක්තෝබර් 19 වන දා මාතර බෝධි ආරක්ෂක සභාව පිහිටුවන ලදී.
මාතර බෝධි ආරක්ෂක සභාවේ ප්‍රථම සභාපති ධූරයට එඩ්මන් සමරසේකර මහතා පත්වු අතර 1978 දක්වා වසර 17 ක් නොකඩවා එතුමා එම තනතුර හොබවමින් අකලංක අමරණීය සේවාවක් සිදු කරමින් බෝධි රාජයාගේ උන්නතිය සඳහා කටයුතු කරන ලදී. ඔහුගේ අභාවයෙන් පසු පිළිවෙළින් හෙන්රි ගුණසේකර, සී. ඒ. හේමචන්ද්‍ර, නීතිඥ රිචඩ් කුලතුංග, එස්. කේ. චන්ද්‍රසෝම, අමරදාස කුමානායක, රොහන්ත සමරසිංහ යන මහත්වරු පත්වු අතර වර්තමාන සභාපති ලෙස කටයුතු කරන්නේ ප්‍රදේශයේ සම්භාවනීය පරපුරකට අයත් ප්‍රභූවරයෙකු වන ඩිහාන් සමරසේකර මහතායි. එතුමා තම කාලයත් ධනයත් ශ්‍රමයත් මේ සඳහා කැප කරමින් ජාතික
හා ආගමික හැඟීමෙන් යුතුව රටටත් සමාජයටත් සම්බුද්ධ ශාසනයටත් මේ තුළින් උදාර ජාතික, ආගමික හා සමාජයීය මෙහෙවරක් කරමින් මෙහි උන්නතිය සඳහා කටයුතු කරන බව ප්‍රශංසාභිමුඛයෙන් සඳහන් කළ යුතුය.
මාතර බෝධි ආරක්ෂක සභාව මගින් සිදු කරන සේවාවන් රාශියකි. අඩු ආදායම්ලාභී පවුල්වල දරුදැරියනට උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම, පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම, මාතර මහ රෝහලේ සංවර්ධන කටයුතු සඳහා ආධාරදීම, ආර්ථික අපහසුතාවලින් යුතු පවුල්වල දරුදැරියන්ට හා වැඩිහිටියන්ට නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීම, රෝහල් ගතව ප්‍රතිකාර ලබන අසරණ රෝගීන් සඳහා බෙහෙත් වර්ග ලබාදීම, අක්ෂි කාච ලබාදීම, ප්‍රදේශයේ දහම් පාසල් අධ්‍යාපනය නඟා සිටුවීමට ද්‍රව්‍ය හා මූල්‍යමය වශයෙන් ආධාර ලබාදීම, ශාසනික සංස්කෘතික හා සමාජයීය පරිත්‍යාග සිදු කිරිම, ප්‍රදේශයේ පාසල් සිසුන් උදෙසා අ.පො.ස. සාමාන්‍ය පෙළ පෙරහුරු සම්මන්ත්‍රණ පැවැත්වීම, අනාගතයේ ශාසනික පැවැත්ම සඳහා අවශ්‍ය ධර්මධර විනයධර සඟ පරපුරක් බිහි කරලීමේ අරමුණින් බුද්ධ ධර්මය ඉගැන්වීමේ ව්‍යාපෘති පිළියෙළ කිරිම, ප්‍රදේශයේ පවත්නා විහාරස්ථාන ප්‍රතිසංසකරණය කිරිම සඳහා ආධාර දීම, ධර්මකාමී සමාජයක් බිහි කිරිමේ අරමුණින් බෝධි රාජයා අභියස දිනපතා සන්ධ්‍යා කාලයේ බෝධි පූජා, ධර්ම දේශනා වැඩසටහන් හා සති අන්ත විශේෂ භාවනා, ධර්ම සාකච්ජා වැඩ සටහන් ක්‍රියාත්මක කිරිම, ජාතික වැදගත්කමකින් යුතු උත්සව සැමරීමට ආධාරදීම, බෞද්ධ පුස්තකාල සේවාවක් මගින් පාසල් දරුදැරියන්ටත් වැඩිහිටියන්ටත් අවශ්‍ය දහම් පොතපත ලබාදීම, ඵෙතිහාසික බෝධීන් වහන්සේ හා එම බෝමළුව තුළ ඇති සියළුම බෞද්ධ වස්තූන් බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර හා වත්පිළිවෙත් අනුව ආරක්ෂා කිරිම හා පවත්වා ගෙන යාම ආදී ශාසනික, ජාතික හා සමාජයීය කටයුතු රාශියක් සිදු කරනු ලබයි. මෙහි සඳහන් කරන ලද්දේ මාතර බෝධි ආරක්ෂක සභාවෙන් සිදු කරන සුවිශාල සේවාවන් අතුරින් කිහිපයක් පමණි. දිවයිනේ වෙනත් විවිධ බෞද්ධ සංවිධානවලට පූර්වාදර්ශයක් ලබාදෙමින් මාතර බෝධි ආරක්ෂක සභාව මහජනතාවගෙන් ලැබෙන මහජන මුදල් පාරදෘශ්‍යභාවයෙන් යුතුව නිසි කළමණාකාරීත්වයක් යටතේ පරිපාලනය කරමින් ජනතාවගේ ලෞකික හා ලෝකෝත්තර ජීවිතය යහපත් කර ගැනීම සඳහා යෙදවිය යුතුය යන පරහිතකාමී උදාර සංකල්පය මත පිහිටා කරනු ලබන මේ සේවාව සමස්ථ ලංකාවාසී ජනතාවගේම ඇගයීමට ලක්විය යුතුය යන්න අපගේ විශ්වාසයයි.
මාතර බෝධි ආරක්ෂක සභාව මගින් ක්‍රියාත්මක කෙරෙන සුවිශාල සේවාවන් අතුරින් මාතර, හම්බන්තොට, රත්නපුර යන දිස්ත්‍රික්කවල මිලියන 2 ක පමණ ජනතාවට සේවා සලසනු ලබන, මාතර මහ රෝහලට ලබා දෙන අනුග්‍රහය විශේෂයෙන් සඳහන් කළ යුතුය. දැනට මාතර මහ රෝහලේ පවත්නා වාට්ටු 27 න් වාට්ටු 11 ක්ම ඉදිකරවා උපකරණ සහිතව පරිත්‍යාග කොට ඇත්තේ මාතර බෝධි ආරක්ෂක සභාව මගින් බව මෙහිලා ප්‍රශංසාභිමුඛව සඳහන් කළයුතුය. ඒවා නඩත්තු කරන්නේද නවීකරණය කරන්නේද මාතර බෝධි ආරක්ෂක සභාව මගිනි. මේ දක්වා මාතර මහ රෝහල සඳහා මාතර බෝධි ආරක්ෂක සභාව වැය කර ඇති මුදල පසළොස් කෝටි අසූ හතර ලක්ෂ අනූ තුන්දහස් තුන්සිය අසූ අටයි සත තිහක් පමණකි. ( රු. 158,493,388.30$} ) මෑතදී මාතර බෝධි ආරක්ෂක සභාව මගින් තනා නිමකර රෝහලට භාරදුන් සී ටී ස්කෑනර් යන්ත්‍රය ස්ථාපනය සඳහා වු තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය සඳහා පමණක් වැය කර ඇති මුදල රුපියල් කෝටි 03 කට ආසන්නය. මේ හැරෙන්නට මාතර බෝධි ආරක්ෂක සභාව සතුව කඹුරුගමුවේ, මාතර ගාල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි අක්කර 02 ක පමණ සරුසාර වගාවෙන් යුතු භූමිභාගයද ලක්ෂ 200 ක් වැය කර තනා නිම කළ අංග සම්පුර්ණ දෙමහල් ගොඩනැගිලි සංකීර්ණයද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර එහි සම්පුර්ණ අයිතිය නීත්‍යානුකූලව පවරා ඇත. එහි දැනට දකුණු පළාතේ රජයේ රෝහල්වලට අවශ්‍ය රුධිරය ගබඩා කර තබා ගනිමින් ඒවා බෙදා හරින දකුණු කලාපීය රුධිර මධ්‍යස්ථානය ලෙස ප්‍රයෝජනයට ගනී. මේ නිසා මරණය අභිමුඛයේ සිටින අසරණ රෝගීන් දහස් ගණනකගේ ජීවිත මරණයෙන් මුදවා ගැනීමට එය මහඟු පිටිවහලක් වී තිබේ.
’මාතර බෝධි ආරක්ෂක සභාව නැතිනම් මාතර මහ රෝහලක් නැත‘ යන සංකල්පය ප්‍රදේශයේ ජනතාව තුළ ඇති වී තිබෙන්නේ මේ සිදු කරන උදාර සේවාව නිසාමය.
තවද මාතර බෝධි ආරක්ෂක සභාව මගින් ක්‍රියාත්මක කරන තවත් විශේෂ ව්‍යාපෘතියක් වනුයේ පිරිවෙන් අධ්‍යාපනය ලබන ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම හා උසස් පෙළ අංශයන් සඳහා සුදුසුකම් ලැබු ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට හා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළින් සමත් වී වැඩිම ලකුණු ලබාගත් මාතර දිස්ත්‍රික්කය තුළ ආර්ථික අපහසුතාවලින් යුතු දරුදැරියන්ට උසස් අධ්‍යාපනය හැදැරීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමිමයි. සිසු දරුදැරියන්ට ශිෂ්‍යත්ව පිරිනැමිමේ වැඩසටහන 1994.07.25 වන දින ආරම්භ කළ අතර මේ දක්වා දරුදැරියන් 875 ක් සඳහා ශිෂ්‍යත්ව පිරිනමා තිබේ. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් දෙකෝටි එක් ලක්ෂයකි. (රු. 20,100,00$}) ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සඳහා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන 2001 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර මේ දක්වා භික්ෂුන් වහන්සේලා 226 නමක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කර තිබේ. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් විසිපන් ලක්ෂ හතලිස් හතර දහසකි. (රු. 2,544,000$}).
මාතර බෝධි ආරක්ෂක සභාව ආරම්භ කර 2012.10.19 වන දිනට වසර 50 ක් සපිරේ. ඒ අනුස්මරණීය අවස්ථාව සිහිපත් කිරිම සඳහා මාතර බෝධි ආරක්ෂක සභාව මගින් මුළු වසර පුරාම දිවෙන ජාතික, ආගමික හා සාමාජයීය ව්‍යාපෘති රාශියක් දැනට දියත් කර ඇත. එහි සුවිශේෂි අවස්ථාවක් ලෙස ඔක්තෝබර් මස 03 දා සිට 16 වන දින දක්වා දිනපතා රටටත්, ජනතාවටත් සෙත්පතා පසවරු 6.00 ට බෝධි පුජාවක්ද රාත්‍රි 7.00 • ලංකාවේ අතිදක්ෂ ධර්මධර, විනයධර, ප්‍රකට ධර්ම කථිකයන් වහන්සේලා වැඩමවා සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවක් ද සංවිධානය කර ඇත. මෙයට අතිරේකව මහජනතාව වෙනුවෙන් රජයේ පළපුරුදු බටහිර වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් නොමිලයේ වෛද්‍ය සායන කීපයක් පවත්වා එම රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ග නොමිලයේ ලබාදීමට කටයුතු යොදා ඇත. තවද ප්‍රදේශයේ දුෂ්කරතා මධ්‍යයේ පවත්වා ගෙන යනු ලබන විහාරස්ථාන, ආරණ්‍ය සේනාසන හා රජයේ පාසල් කිහිපයක ගොඩනැගිලි පිළිසකර කර උපකරණ ලබා දී ඒවා සංවර්ධනය කිරිමට අනුග්‍රහය දක්වා තිබේ. මෙයට අමතරව අසරණ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ලේ දන් දීමේ වැඩසටහන් කීපයක්ද පවත්වා තිබේ.
සුවහසක් ජනතාවගේ නොමද විශ්වාසය දිනා ගනිමින් අඩ සියවසක කාලපරිච්ඡෙදයක් මාතර බෝධි ආරක්ෂක සභාව ගමන් කළ අතීත ගමන් මගේ පියසටහන් දෙස ආපසු හැරි බලන විට කිසියම් අභිමානයක් හා ඉමහත් සොම්නසක් සිත් සතන්හි ජනිත වන්නේ නිරායාසයෙනි. • ලංකාවේ දැනට ක්‍රියාත්මක වන වෙනත් බෞද්ධ සංවිධානවලට පූර්වාදර්ශයක් ලබා දෙමින් සිදු කරන මෙම උදාර සේවාවට රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉදිරියටත් අඛණ්ඩව කරගෙන යාම සඳහා මාතර බෝධි ආරක්ෂක සභාවට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනය කරමු.