ඉතිහාසය - මාතර බෝධි ආරක්ෂක සභාව

මාතර නගරයට ප්‍රවිශ්ඨ සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ.
එනම් ක්‍රි.ව. 515 තරම් ඈතට දිවයන ඵෙතිහාසික පුරාවෘත්තයක් නිහක්‍ෂව කියාපාන ජනාකීර්ණ නගර මධ්‍යයේ උප ශාන්ත පරිසරයක් පසුබිම් කරගෙන පිහිටි මාතර ඵෙතිහාසික බෝධි රාජයායි.

ImageWithText

කොළඹ සිට කතරගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ උයන්වත්ත ක්‍රීඩාංගනයට මුහුණලා පිහිටා ඇති මේ පරම පූජනීය මාතර ඵෙතිහාසික බෝධි රාජයා ක්‍රි.ව. 515 දී මෙරට රාජ්‍යත්වයට පත්වී සිටි මහා කිවිවරයෙකු ලෙස සැළකෙන කුමාරදාස නිරිඳූ කල දක්වා දිවෙන ඵෙතිහාසික පසුබිමක් ඇති ස්ථානයක් බව පෞරාණික ලේඛන හා ජනප්‍රවාද අනුව සනාථ වේ.
මෙම බෝධිරාජයා රෝපණය කිරිමේ අවස්ථාවට කුමාරදාස රජුගේ ආරාධනයෙන් රාජ්‍ය අමුත්තකු ලෙස ලංකාවට පැමිණි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී ජීවිතක්ෂයට පත් වු කාලිදාස මහා කිවිදාණන්ගේ චිතකයට පැණ දිචි නසාගත් බිසෝවරුන් පස් දෙනාත් සමඟ රජුද උපදෙස් දුන් පඬිවරුද යන සත් දෙනාද පැන දිවි තොර කරගත් බව සඳහන් වේ. මේ ශෝකාන්තය සිහිපත් වන්නට මාතර නගරය තුළ බෝධි 7 ක් රෝපණය කළ අතර එදා පටන් මේ ස්ථානය “හත් බෝධි වත්ත” නමින් හඳූන්වන ලදී. මාතර ඵෙතිහාසික බෝධි රාජයා එම බෝධීන් වහන්සේලා අතරින් එකක් ලෙස විශ්වාස කෙරේ. මෙම මාතර ඵෙතිහාසික බෝධීන් වහන්සේ අනුරාධපුරය විජය “ජය” මහා බෝධි රාජයාණන් වහන්සේගේ ගෝත්‍රයට අයත් වන බව උද්භිද විද්‍යාඥයින් විසින් කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත.
එවකට මෙරට පාලනය කරන ලද ඉංග්‍රිසි පාලකයින් මේ ඵෙතිහාසික පූජා භූමියට විවිධ තර්ජන එල්ල කරන ලද අතර මාතර නගරසභා භූමිය පුළුල් කරන අටියෙන් හා බෞද්ධයින්ට පාඩමක් ඉගැන්වීමේ අදහසින් ඔවුන් විසින් මෙම බෝධීන් වහන්සේ කපා ඉවත් කිරිමට දින පවා නියම කර ගන්නා ලදී. එහෙත් එවකට මාතර නගරයේ සිටි බෞද්ධ ව්‍යාපාරිකයින් රාජ්‍ය නිළධාරීන් හා මාතර නගර සභාවේ නිළධාරීන්ද සෙසු බෞද්ධ ජනයාද එක්ව විවිධ තර්ජන ගර්ජන මැද්දේ ඉතා අපහසුවෙන් එය ආරක්ෂා කරගෙන තිබේ. ඔවුන්ගේ මුලිකත්වයෙන් බෝධීන් වහන්සේ අබියස බුද්ධ ප්‍රතිමාවක් වඩා හිඳූවා වන්දනාමාන කිරිමට කටයුතු සැලැස්වු අතර මෙහි පූජනීයත්වය ඔප් නැංවීමට කුඩා බුදු මැදුරක්ද කුඩා චෛත්‍යක්ද දේවාල දෙකක්ද ඉදි කරන ලදි. මුලින් ඉදිකළ මෙම කුඩා චෛත්‍ය විහාර මන්දිරය පිටුපස දැනුදු දක්නට ලැබේ.
මාතර බෝධි ආරක්ෂක සභාවේ සාමාජිකයින් අතුරින් පරළෝ සැපත් බී. ආරියරත්න මහතාත් බී. ඒ. සයිමන් අප්පුහාමි මහතාත්, කේ. පී. කරනේලිස් මහතාත් මේ සඳහා පෙරමුණ ගත් පිරිස අතර වේ. 1961 වර්ෂයේදී කේ. ටී. සෝමපාල, සී. ඒ. ධර්මසේන සහ ආර්. පෑලිස් යන මහත්වරු ස්වකීය ධන පරිත්‍යාගයෙන් චෛත්‍යයක් ගොඩ නැගීම ආරම්භ කරන ලදී. මෙසේ ක්‍රමයෙන් දියුණු වෙමින් පැවැති මාතර බෝධි රාජයාගේ ඉදිරි පැවැත්ම හා ආරක්ෂාව සඳහා 1962 ඔක්තෝබර් 19 වන දා මාතර බෝධි ආරක්ෂක සභාව පිහිටුවන ලදී.
මාතර බෝධි ආරක්ෂක සභාවේ ප්‍රථම සභාපති ධූරයට එඩ්මන් සමරසේකර මහතා පත්වු අතර 1978 දක්වා වසර 17 ක් නොකඩවා එතුමා එම තනතුර හොබවමින් අකලංක අමරණීය සේවාවක් සිදු කරමින් බෝධි රාජයාගේ උන්නතිය සඳහා කටයුතු කරන ලදී. ඔහුගේ අභාවයෙන් පසු පිළිවෙළින් හෙන්රි ගුණසේකර, සී. ඒ. හේමචන්ද්‍ර, නීතිඥ රිචඩ් කුලතුංග, එස්. කේ. චන්ද්‍රසෝම, අමරදාස කුමානායක, ඩිහාන් සමරසේකර , රොහාන්ත සමරසිංහ යන මහත්වරු පත්වූ අතර වර්තමාන සභාපති ලෙස කටයුතු කරන්නේ තිලක් ජයසේකර මහතාය. මෙතුමාණන් තම කාලයත්, ධනයත් , ශ්‍රමයත් කැප කරමින් කිසිදු මූල්‍යමය ප්‍රතිලාභයකින් තොරව ජාතික හා ආගමික හැඟීමෙන් යුතුව රටටත් සමාජයටත් සම්බුද්ධ ශ්‍යාසනයටත් මේ තුළින් උදාර ජාතික , ආගමික හා සමාජීය මෙහෙවරක් කරමින් මෙහි උන්නතිය සඳහා කටයුතු කරන බව ප්‍රශංසා මුඛයෙන් සඳහන් කල යුතුය.

Logo

මාතර නගරයට ප්‍රවිශ්ඨ සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ.

Follow Us

Facebook
Facebook

© 2025 Matara Bodhiya Arakshaka Sabawa | All Right Reserved | Design & Development By vinod.lk and asi.lk