1957 වර්ෂයේදී ආරම්භ කරන ලද මාතර මහ රෝහලෙහි විකිරණ වේදී අංශය, 2023.12.14 දින තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තබමින් රුපියල් මිලියන සියයක ( රුපියල් කෝටි දහයක) වටිනා කමකින් යුතු නවීන ඩිජිටල් එක්ස්-රේ යන්ත්‍රයක් , මාතර බෝධි ආරක්ෂක සභාව විසින් රුපියල් ලක්ෂ පනස් හයක වියදමකින් මාතර මහ රෝහලෙහි විකිරණ වේදී අංශයෙහි ස්ථාපනය කර රෝගී සත්කාර සේවාව සදහා විවෘත කරන ලදි.
මේ සමගම කොළඹ නවලෝක පුද්ගලික රෝහලින් පසු මෙම නවීන ඩිජිටල් එක්ස්-රේ යන්ත්‍රයක් සහිත මෙම ප්‍රදේශයේ ඇති එකම රෝහල බවට මාතර මහ රෝහල පත්වන ලදි.
මෙම ඩිජිටල් එක්ස්-රේ යන්ත්‍රය මගින් රෝගීන්ගේ ශරීර අභ්‍යන්තරයෙහි එක් එක් ස්තරයන් වෙන් වෙන් වශයෙන් ඩිජිටල් තාක්ෂණය මගින් පරීක්ෂා කිරීමේ හැකියාව ඇති අතර , එක්ස්-රේ කාඩ්පත් ලෙස මුද්‍රණය වීමක් සිදු නොකරන අතර රෝහලේ පරිගණක පද්ධතියට යොමුකිරීම හරහා වෛද්‍ය වරයා වෙත යොමුවීම සිදුවේ.
පැරණි එක්ස්-රේ යන්ත්‍රයන්ට සාපේක්ෂව මෙම නවීන ඩිජිටල් එක්ස්-රේ යන්ත්‍රයෙහි විකිරණ නිකුත්වීම 90% කින් පමණ අවම මට්ටමක පැවතීමත් , රුපියල් දහසක පමණ ඉතා මිලක් වැයවන එක්ස්- රේ කාඩ්පත් මුද්‍රණය කිරීමක් අවශ්‍ය නොවීමත් , ඉතාමත් නිවැරදි දත්ත රාශියක් මෙම ඩිජිටල් එක්ස්-රේ යන්ත්‍රය හරහා ලබාගැනීමට හැකිවීමත් මෙහි ඇති වාසිදායක තත්වයන් වේ.
එසේම මාතර මහ රෝහලෙහි දෛනිකව රෝගීන් 200 කගේ පමණ එක්ස්-රේ ලබාගැනීම සිදුවන අතර ඒ අනුව පැරණි ක්‍රම වේදය අනුව එක්ස්-රේ කාඩ්පත් සදහා පමණක් දෛනිකව රුපියල් ලක්ෂ දෙකකක් පමණ (මාසිකව රුපියල් මිලියන හයක් පමණ) වැයවී ඇති අතර මෙම නව ඩිජිටල් එක්ස්-රේ යන්ත්‍රය ක්‍රියාත්මක වීමත් සමගම එම මුදල් ප්‍රමාණය ඉතිරිවීමද සිදුවේ.
2023.12.14 දින පෙ.ව 10.00ට යෙදුන සුබ මොහොතින් මෙම නවීන පහසුකම් සහිත ඩිජිටල් එක්ස්-රේ යන්ත්‍රය රෝගී සත්කාර සේවාව සදහා යොමුකරන අවස්ථාව සදහා මාතර මහ රෝහලෙහි අධ්‍යක්ෂක තුමන්, නියෝජ්‍ය අධ්‍යක්ෂක තුමන්, විශේෂඥ වෛද්‍ය තුමන්,රෝහලේ වෛද්‍ය නිලධාරී මහත්ම මහත්මීන්, සේවක මණ්ඩලය හා මාතර බෝධි ආරක්ෂක සභාවේ සභාපති තුමන්, ලේකම් තුමන් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී වන ලදි.