ධර්ම දේශනා පිළියෙළ කිරීම.

You are here

සේවා

’අතිශයින්ම දුර්ලභව ලද මේ මිනිස් දිවියේ සනාතන රැකවරණය උදෙසා තම චින්තනය මෙහෙයවා ගැනීමේ හැකියාවෙන් යුතු භාග්‍ය සම්පන්න මිනිසුනට සදහම් අවබෝධයට අතහිතදීමේ පරම පවිත්‍ර චේතනාවෙන් බෝධි ආරක්ෂ සභාව මගින් දියත් කළ මෙහෙවරකි'

මාතර කඩවත්සතර හා වැල්ලබඩ පත්තුවේ ශාසනාරක්ෂක සභාව සෑම ඉරු දිනකම සහ පුන් පොහොදා දිනකම සන්ධ්‍යා සමයෙහි බෝධි මළුවේ ධර්ම දේශනා පැවැත්වීමට බෝධි ආරක්ෂ සභාවෙන් 1982 වර්ෂයේදී ඉල්ලා සිටියෙන් ඒ සඳහා පූර්ණ සහයෝගය ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් නියම කර ගන්නා ලද මාතෘකා යටතේ මහා සංඝරත්නය ලවා ධර්ම දේශනා පවත්වන ලදී. මෙම වැඩ පිළිවෙළ නිසි ආකාරයට ක්‍රියාත්මක කිරීම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපති ශ්‍රී සුදර්ශි පරිවේනාධිපති පූජ්‍ය පණ්ඩිත කඩවැද්දුව පේමරතන නායක මාහිමිපානන් වහන්සේ හා ගරු ලේඛකාධිකාරී අතුරලියේ ඉන්දරතන නාහිමිපාණන් වහන්සේ විසින් පිළියෙළ කරන ලදී.

1983 වර්ෂයේදී මෙම වැඩපිළවෙළ තාවකාලිකව අඩාල වූ බැවින් බෝධි ආරක්ෂ සභාව මේ වැඩපිළිවෙළට සෘජු දායකත්වය දරමින් නොකඩවා එම කාර්යය තවදුරටත් ගෙනයාමට පූර්ණ අනුග්‍රහය දක්වන ලදී. එසේම තවත් පියවරක් ලෙසින් මෙසේ පැවැත්වෙන ධර්ම දේශනාවන් බණ ඇසීමට පැමිණෙන සැදැහැවතුනට සරල බසින් මුද්‍රණය කොට ඔවුන් අතර බෙදා හැරීමටද කටයුතු කරන ලදී.

1985 වර්ෂයේ සිට ඉරු දිනවලට හා පුන්පොහෝ දිනකට සීමා වී, තිබූ ධර්ම දේශනා සතියේ අනෙකුත් දිනවලද මුළු සතිය පුරාම පැවැත්වීමට කටයුතු පිළියෙළ කළ අතර, මෙම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පැමිණෙන සැදැහැවතුන්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ ඒ සඳහා ධර්ම ශාලාවක් ඉදිකිරීමේ අවශ්‍යතාවය පැන නැගුනෙන් 1985 වර්ෂයේදි එම ධර්මශාලාවේ වැඩකටයුතුද නිම කොට 1985 ජනවාරි 01 දිනට පෙර දින සර්ව රාත්‍රික ධර්ම දේශනාවක් පවත්වා පසුදින සංඝගත දක්ෂිණාවක් පවත්වා දැනට බෝමළුවේ ඉදි කොට ඇති ධර්මශාලාව සංඝරත්නයේ ආගමික රැස්වීම්වලටද භාවිතා කිරීමට කටයුතු යොදන ලදී.

බෝධින් වහන්සේ අභියස ධර්ම ශාලාවේ පැවැත්වෙන ධර්ම දේශනා බෙහෙවින් ජනප්‍රිය වු අතර, ඉරිදා හා පොහොය දිනවල බණ ශ්‍රවණය කිරීමට බෝමළුවට පැමිණීම බෞද්ධයන්ගේ ජන ජීවිතයේ සාමාන්‍ය අංගයක් බවට පත් වූ අතර, මෙම ධර්ම දේශනා මාලාවන් ධර්ම ග්‍රන්ථයක් වශයෙන් මුද්‍රණය කර නොමිලේ ශ්‍රාවක මහත්ම මහත්මීන්ට බෙදාදමට කටයුතු කරන ලදී.1983 පෙබරවාරි 13 දින සිට 1983 සැප්තැම්බර් 25 වැනි දින තෙක් පැවැත්වූ ධර්ම දේශනා 30ක් අන්තර්ගත කොට ’බෝ සෙවනේ බණ' නමින් ප්‍රථම කාණ්ඩය එළිදක්වන ලදී.

  මෙම සත් කාර්යයෙහි පූර්ණ වගකීම මාතර කොටුව මිගදාය සිරි රතනපාල පරිවේනාධිපති හා මැද්දවත්ත ඉසිපතනාරාමාධිපති ශාස්ත්‍රවේදි පණ්ඩිත තලහගම ඥානරතන හිමිපාණන්ට හිමිවන අතර මෙම කෘතවේදීත්වය පිළිබඳව එම හිමිපාණන්ට චිරජිවනය ප්‍රාර්ථනා කරමි. මෙම ධර්ම දේශනා වැඩසටහන තව දුරටත් ව්‍යාප්ත කොට මෑත කාලයේදී වියත් ධර්මධර භික්ෂූන් වහන්සේලා කැඳවා ධර්ම දේශනා පැවැත්වීමට කටයුතු කරන ලදී.

එසේම සෑම මසකම පළමුවන සෙනසුරාදා පෙව 7.00 සිට පෙව 11.00 දක්වා මාතර ඓතිහාසික බෝධි පරිශ්‍රයේදී විශාල සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් විශේෂ භාවනා වැඩසටහනක් පවත්වනු ලබන අතර පේරාදෙණිය හිඳගල මහකන්දේ ශ්‍රී සමාධී භාවනා පුහුණු මධ්‍යස්ථානයේ අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණ විහාරය ඌව පරණගම ලුණු වත්තේ සිළුමිණ විහාරය යන උභය විහාරාධිපති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ති‍්‍රපිටකාචාර්ය පූජ්‍යපාද මහමෙව්නාවේ මංගල ස්වාමීන් වහන්සේ විසින් එම භාවනා වැඩසටහන මෙහෙයවනු ලබති.

තවද සෑම මසකම දෙවන සෙනසුරාදා උඩමලල හම්බන්තොට ඓතිහාසික පූජනීය වු වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති අතිපූජ්‍ය නාගොඩ සද්ධාලෝක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සුපිරිසිදු බුදු දහම රැකගනිමින් ශික්ෂාකාමී සිල්වත් ගුණවත් ධර්මධර ප්‍රතිපත්තිගාමි සදහම් වැඩසටහනක් දියත් කිරීමද සමාලෝචිත කාලපරිච්ඡේදය තුළදී සිදුකරන ලදී. මෙම පිරිස් වෙනුවෙන් උදෑසන හා දහවල දානමය කටයුතු ප්‍රදේශයේ දානකාමී පිරිස් හරහා ලබාදිමේ ක්‍රමවේදයක්ද සලසාලමින් උදාර ආගමික මෙහෙවරක් ඉටුකිරිමටද කටයුතු සලසන ලද අතර මෙම වැඩසටහන සඳහා සහභාගී වන දහමට ලැදි පිරිසගේ වර්ධනයක්ද දක්නට ලැබුණි.

එසේම ගනේමුල්ල කිරිඳිවිට පාර ආනන්ද බෝධි ධර්මායතනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පාතේගම සුමනරතන ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන විශේෂ භාවනා වැඩසටහනක්ද 2013 ජූලි මස සිට මෙම පූජනීය ස්ථානයේ සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

මීට අමතරව සතිපතා පැවැත්වෙන පරිත්‍රාන ධර්ම දේශනාව එලෙසම පවත්වාගෙන යන ලද අතර මෙම පුණ්‍ය කටයුත්ත දිගටම පවත්වාගෙන යාමට මාතර පහළ පීක්වැල්ලේ පන්ථාරාම පුරාණ විහාරාධිපති අස්මදාචාර්ය දර්ශන විශාරද • සද්ධර්ම වාගීස්වරාචාර්ය දර්ශන විශාරද පණ්ඩිත ඌරුමුත්තේ සෝමරථනාභිධාන නායක හිමිපාණන් වහන්සේගෙන් ලද නොමඳ පිටිවහල මෙහිදී සිහිපත් කිරිම වටී. මෙම සති පිරිත් දේශනාව ශ්‍රවණය කිරිමෙන් මානසික සුවතාව ලද පිරිස් නොකඩවා බෝමළුවට ඇදි ඒමද ප්‍රකට සිදුවීමක් විය.

එසේම එදා මෙදාතුර බෝමළුවේදි අතිගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනා සදහා පැවති ඉල්ලුම හේතුවෙන් එම ධර්ම දේශනා පටිගත කොට බොදු ජනතාව වෙත සහන මිලකට ලබාදීමටද ක්‍රමවේදයක් සකස් කරන ලදී. මෙම පහසුකම තවදුරටත් ව්‍යාප්ත කරලීමේ අපේක්ෂාවෙන් පවත්නා ඉල්ලුමට අනුකූලව නවීන තාක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කරමින් CD තැටි උපයෝගී කොට ගෙන පටිගත කරන ලද ධර්ම දේශනා බෙදාහැරිමටද කටයුතු කරන ලදී.

පුණ්‍යානුමෝදනාව

බෝමළුවේ පැවැත්වෙන ධර්ම දේශනාමය හා මහා බෝධි පූජාමය පිංකම් වලට මෙන්ම වසරක් පාසා ජනවාරි 01 දින පැවැත්වෙන හීල් දානමය පිංකමටද සහභාගී වන මාතර නගරයේ හා අවට විහාර හා පිරිවෙන් විද්‍යායතන වලින් වැඩම කරන නායක, අනුනායක හා අනෙකුත් මහා සංඝරත්නය නමස්කාර පූර්වකව ගෞරවයෙන් සිහිපත් කරමු.

බෝධි ආරක්ෂක සභාවේ දානමය පිංකම් වලදී අවශ්‍ය මේස පුටු හා පිඟන් කෝප්ප ආදිය නොමිලයේ සැපයීමෙන් මාතර ගබඩා වීදියේ ධර්මදාස ස්ටෝර්ස් අධිපති අප ගරු සාමාජික සරත් හේවා පතිරණ මහතා හා පරිත්‍රාන ධර්ම දේශනාවලදී නොමිලයේ පිරිත් මණ්ඩප හා ආසන ලබා දෙමුන් සී.ඒ. නදුන් නිරෝෂන් මහතා විසින් සිදු කරන සේවය සෑම වසරකදීම නොමසුරුව මෙම සභාව වෙත ලබා දීමෙන් සිදු කරගත් පුණ්‍ය කර්මය කෘතඥතා පූර්වකව සඳහන් කරමු. එතුමන්ලාගේ සියලු ව්‍යාපාර කටයුතු තවදුරටත් දියුණුවට පත්වේවායි ද එතුමන්ලා ඇතුළු පවුලේ සැමට දීර්ඝායුෂ ලැබේවායි ද ආශිර්වාද කරමු.

අප සභාවේ පරලෝ සැපත් පෙර සභාපතිතුමන්ලාට ද සියලුම ගරු සාමාජික මහත්වරුන්ට ද කෘතවේදීව පිං අනුමෝදන් කරමු.

මෙම සිද්ධස්ථානයේ නානාවිධ පූජෝපාහාර පැවැත්වීමෙන් හා විවිධ පූජා භාණ්ඩ පරිත්‍යාග කිරීමෙන් ද මුදල් ආධාර පිරිනැමීමෙන් ද සහයෝගය දුන් සැමට ත්‍රිවිධ රත්නයේ පිහිට හා මාතර ඓතිහාසික බෝ සම්ඳූන් අධිගෘහිත සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබී සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරමුන් පිං අනුමෝදන් කරමු.

මෙම පූජා භූමියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් ක්‍රියා කරන නියෝජ්‍ය පොලිස්පතිතුමා සහ මාතර පොලිසියේ සහකාර පොලිස් අධිකාරී හා මූලස්ථාන පොලිස් පරීඏකතුමා ඇතුළු සියලුම පොලිස් නිලධාරීන්ට ප්‍රශංසාත්මකව පිං දෙමු.

බෝධි ආරක්ෂක සභාවේ වැඩ කටයුතු වලදී විවිධ අයුරින් උදව් උපකාර කළ දිස්ත්‍රික් ලේකම්තුමිය, අතිරේක දිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය හා පළාත් පාලන ආයතනවල සියලුම නිලධාරීන්ට, සියලුම සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවයේ නියුතු සැමටත්, ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාවේ කළමනාකාර තුමිය ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයටත්, මාතර මහ රෝහලේ වෛද්‍ය අධිකාරීතුමිය, පෙර අධිකාරීතුමා ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයටත් මාතර මහ රෝහලේ ඉදිකරනු ලබන ගොඩනැගිලි අධීඏණය කරමුන් නොමිලයේ තම සේවාව ලබාදුන් ගෙඩනැගිලි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගොඩනැගිලි ඉංජිනේරු මහත්මියටත් අතපසුවීමකින් හෝ අමතක වීමකින් හෝ මෙහි සඳහන් නොවන සියලුම දෙනාටත් තුණුරුවන් පෙරටු කොට සියලු දෙවියන්ගේ දේවාශිර්වාදය ලැබේවායී ප්‍රාර්ථනා කරමුන් ස්තුති පූර්වකව පිං දෙමු.

අප සභාව මගින් සිදුකරන සියලුම යහපත් කටයුතු වලට ධෛර්ය හා නන් අයුරින් උපදෙස් දෙමුන් සාමුහිකව අපේක්ෂිත අරමුණ සාර්ථක කර ගැනීමට ඇප කැප වෙමුන් සහාය දැක්වූ සභාපතිතුමා, භාණ්ඩාගාරිකතුමා ඇතුළු ගරු සාමාජික මහතුන්ට කෘතඥතා පූර්වකව පිං දෙමු. ව්විධාකාරයෙන් බෝධි ආරක්ෂක සභාවේ සේවයේ නියුතු සමස්ථ කාර්ය මණ්ඩලය විසින් දෙන ලද අගනා සහයෝගය භක්තියෙන් හා කැපවීමෙන් කරන ලද සේවය නිසා බෝධි ආරක්ෂක සභාවේ කාර්යයන් වඩාත් පහසු වන බව කෘතඥතා පූර්වකව සඳහන් කරන අතර ඔවුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමු.

ඉහත සඳහන් පරිදි වෙන් වෙන් වශයෙන් සඳහන් නොකළත් මෙම ස්ථානයේ බෝධි ආරක්ෂක සභාවේ කටයුතු ඇසුරින් තම සිතුවිලි යහමගට යොමු කරන්නා වූ සියලුම පිංවතුන්ට ආශිර්වාද පූර්වකව පිං දෙමින් සියලු දෙනාගේ අභිප්‍රායයන් සාර්ථක වේවායි පතමු.

දැක්ම

ආගමික අධ්‍යාපන, සංස්කෘතික හා සමාජයීය ව්‍යාපෘතීන් හරහා පොදුජන මෙහෙවරක නිරතවීම

අප හා එක්වන්න

  • බෝධි ආරක්ෂක සභාව, ධර්මපාල ම‍ාවත, මාතර, ශ්‍රී ලංකාව
  • Phone: +94 41 222 2983
  • Email: i[email protected] 

තොරතුරු ලිපි

මාතර බෝධි ආරක්ෂක සභාවේ නවතම එමෙන්ම විශේෂ පුවත්වලින් සැනෙකින් දැනුවත්වීමට ලියාපදිංචි වන්න.